ගෙදර අතුගාන හැම පාරම අපේ අම්ම මම පොඩි කාලෙ කියපු කතන්දරයක් මතක් වෙනව.
ඔන්න එක්තරා රටක හිටපු දනවත් සිටුවරයකට ඕනෙ උනාලු තමන්ගෙ එකම පුතාට බිරිඳක් හොයල දෙන්න.
ඉතින් හොද ලේලියක් හොයාගන්න මේ සිටුවරයා පලතුරු වෙලෙන්දෙක් වගේ වෙස් වලාගෙන ගම් දනව් වල ඇවිද්දලු මිදි පුරවපු කරත්තයක් අරගෙන.
සෙනග ගැවසෙන තැන් වල කරත්තය නවත්තන් මේ සිටුවරය කෑ ගැසුවලු "දූවිලි වලට මිදි දෙනවා....දූවිලි වලට මිදි දෙනවා...." කියලා .
ඉතින් සෙනග අනේ මෙන්න පිස්සු මිනිහෙක් කියලා හිනා වෙලා තමන්ගේ ගෙදර තිබ්බ දූවිලි එකතු කරන් ඇවිත් මිදි අරගෙන ගියාලු.
ගොඩ වෙලාවකට පස්සෙ ලස්සන ගෑනු ලමයෙක් ඇවිත් ලේන්සුවක ඔතපු දූවිලි ටිකක් දීල කිව්වලු අනේ ගෙදරම හෙව්වත් අතුගෑවත් මෙච්චරයි හම්බුනේ ,මට ඉන්නවා වයස ආච්ච් කෙනෙක්, ඉතින් මට මිදි ටිකක් ගන්න බැරිද? කියලා .
සිටුවරයාට පුදුම සතුටක් දැනිලා කිව්වා ලු "මම ඔයා වගේ කෙනෙක් තමා හොය හොය හිටියෙ, මම 'අහවල්' සිටුවරයා, කැමතිද මගේ පුතාව බදින්න ?" කියලා .
ඉතින් ඒ ගෑනු ලමයා ගොඩක් සතුටු වෙලා,සිටුවරයාගේ පුතාව විවාහ කරගෙන ,විශාල මන්දිරයක ජීවිත කාලෙම සතුටින් ජීවත් උනා ලු.
හැබැයි ඔය කතාව අහපු හැම පාරම මට හිතුනෙ,
අපරාදෙ දූවිලි ගොඩක් දුන්න නම් මිදි ගොඩාක් ගන්න තිබ්බ.
මේ පැත්තෙ ආව නම් දූවිලි ගොඩක් දෙන්න තිබ්බා.මිදි ගොඩක් කන්න තිබ්බා.
පුතා කැත නම් ,මෝඩයෙක් නම් මොකද කරන්නෙ ඉතින්
අර ගෙදර උන්න ආච්චිට මිදි පස්සේ හරි ලැබුනද දන් නෑ.
කරත්තේ ඉතුරු මිදි වලට මොකද දන්නෑ නේ කලේ
ඉතින් ඔච්චර සල්ලි තියන සිටුවරයාට මොකටද ගෙදර පිරිසිදුව තියන් ඉන්න කෙල්ලෙක් ?වැඩකාරයො නෑ?
ඔන්න ඔය වගේ නා නා ප්රකාර ප්රශ්න.
ඉතින් අම්ම මාව clean කරන්න motivate කරන්න දරපු තැත් ඔය විදිහට ගගට ඉනි කැපුවා වගේ ගියා.