දැන් අපි නාකියි .. :D



ඔන්න  මම ඉඳල ඉඳල ,අවුරුදු 2 ක් ම ඉඳල ආයේ ලියන්න ගත්ත ..:) ඇයි  මම ලිව්වේ නැත්තේ කියල මම ම දන්නේ නෑ .කම්මැලිකම එක හේතුවක් වෙන්න ඇති ,අනික ජීවිතේ ලොකු වෙනසක් වත් ,interesting  දෙයක් වත් වෙන්නේ නැති එක,ඇයි  මගේ PC එකත් මහ කරුමයක්...අද මගේ 26 වෙනි උපන්දිනය,අද ඉඳන් මම මගේ දින පොත ලියන්න ගන්නවා..මොකද 2014/2015 නම් වෙනස් දේවල් සිදුවෙන අවුරුදු 2ක් කියල හිතෙන නිසා.මාව unfollow නොකරපු හැමෝටම ගොඩාක් ස්තුති !!! :)

මම දැන් වැඩ කරන්නේ head office  ඇමෙරිකාවේ තියන company එකක.වැඩට යන්නේ ගෙදරින් හවස 6ත් පහු වෙලා.රෑ 8 ඉඳන් පාන්දර 4.30  වෙනකන්  වැඩ .දැන් අවුරුද්දක් විතර එතන,වැඩට යන වෙලාව හින්ද සෑහෙන්න හොඳ දේවල් උනා,දැන් බස් වල යන්නේ සති අන්තේ lectures යද්දී විතරයි.van එකක් එනවා එක්ක යන්නයි,එක්කන් එන්නයි..ගෙදර ඇවිත් exercise   කරනවා පැය 1 1/2 විතර.කිලෝ 12 කුත් අඩු උනා.දැන් හොඳට නිදා ගන්නවත් එක්ක.ඉතින් ජීවිතේ නම් හොඳ විදිහට ගත වෙනවා.ආ තව මම මේ දවස් වල post graduate diploma  එකක් කරනවා.MBA එකක් කරන්න ගත්තේ නෑ ,එහෙම කලොත් ආයේ ලංකාවේ නම් job එකකට apply කරන්න බැරි වෙන නිසා.qualifications වැඩියි ,experience නෑ ...

අපේ පොඩි අයියත් ඉඳල ඉඳල බැන්දනේ !! අලුත් නෑනා පොඩ්ඩ හරි හොඳයි.අයියගෙන් බාගයක් ඇති.එක්කෝ අයිය ඉක්මනටම කෙට්ටු වෙන්න ඕනේ,එක්කෝ අක්ක මහත් වෙන්න ඕනේ.hehe .දැන් ඉතින් පවුලේ ඉතුරු වෙලා ඉන්නේ මම විතරක් නිසා අම්මලට හරි හදිස්සිය මාවත් බන්දලා දෙන්න.පත්තරේ දැන්වීමක් දානවා කිව්වේ. :P මම කිව්වා බරයි,පාටයි,උසයි ,educational  qualifications ,job  experience එක්ක price  negotiable  කියලත් දාන්න කියල...

ම්ම් ...දැනට නම් වෙන ලියන්න දෙයක් නෑ .ආයෙත් වෙලාවක් ලැබුනම ලියන්නම්කො.එහෙනම්,අදට නවතින්නම් ....සුබ දවසක්! :)

මම මේ ලඟදි (ලඟදි කිව්වට ළඟදීම නෙමේ, මම මේක ලියන්න කියල ගොඩ කාලයක් තිස්සේ හිතන් උන්නේ ..)මගේ කාමරේ අස්කරද්දී කාමරේ බිම තිබිල පුංචි කොළ කෑල්ලක් හම්බුනා.එකේ තිබ්බේ අමුතු විදිහේ නම් ටිකකුයි, ඊට ඉස්සරහින් ගණන් ටිකකුයි.පහලට තිබ්බ නම් පේලිය හරිම අමුතුයි.එක දැක්ක ගමන් මට මතක් උනේ හිටපු ගමන් කඩේ බඩු ඔතල දෙද්දී හම්බෙන පරණ රේස්කොළ.

නම් ටික පහලට තිබ්බේ pick me, rapido, lady jane, red champion වගේ නම් ටිකක්. ඊට ඉස්සරහින් රුපියල් 450, 250, 150 වගේ ගණං ටිකක් ලියල තිබ්බ.මේක මොකක්ද කියල නම් හිතාගන්න බැරි උනා.බැරි වෙලාවත් තාත්ත රේස් ඔට්ටු අල්ලනවාවත් ද? මම කොළෙත් අරගෙන අම්ම ලඟට ගියා. "අම්මේ මේක මොකක්ද කියල පොඩ්ඩක් බලන්නකෝ..." මම අම්මට කොලේ දුන්න. "ඕකේ රෙඩ් චැම්පියන්, පික් මී, ලේඩි ජේන් වගේ නම් සෙට් එකකුයි ගණන් වගේකුයි තියෙන්නේ, තාත්ත බැරිවෙලාවත් ඔට්ටු දාන්න පටන් අරන්ද දන් නෑ ....."

"කෝ මගේ කණ්නාඩිය ගෙන්න...." අම්ම කොලේ අතට අරන් හොරෙන් කිව්වා. මම කණ්නාඩිය ගෙනත් දුන්නට පස්සේ කොලේ කියෙව්ව අම්ම දෙකට නැමි නැමි හිනා වෙන්න ගත්ත.

"මම දවස් ගානක් තිස්සේ හෙව්වා රංජනී ගෙනත් දුන්න ඇන්තූරියම් වල ගණං ලිව්ව කොලේ කෝ කියල!මේක කොහෙද තිබ්බේ?"
"එතකොට ඔය ඔක්කොම ඇන්තූරියම් වල නම් ද?මොනවද අප්පා ඕවට අස්සයන්ගේ නම් දාන්නේ ඇයි? "

අම්ම තාත්තට කතාව කියන්න ඉක්මනට ගියා. අන්තිමේදී දෙන්නම මටයි සවුත්තුව දාන්න ගත්තේ..තාත්තව සූදු කාරයෙක්ගේ ගානට දැම්ම කියල! හී හී.

අදහස් විමසීම

මේ ලඟදි අපේ ගෙවල් ලඟ මල ගෙදරකට තේ, පාන් එහෙම අරන් යන්න අපේ අම්මලයි ,  මාමලයි ලෑස්ති උනා. ඉතින් රෑ 10 ට විතර කට්ටියම මෙහෙට ආව.පාන් ටික ලෑස්ති කරලා තිබ්බ නිසා අම්මයි නැන්දයි එකතු වෙලා තේ, කෝපි හදන්න පටන් ගත්ත.නැන්දා තේ ගොට්ටට අලුතෙන් තේ කොළ දාල, උණු වතුර කෝප්පයක් විතර දාල තද කහට එනකන් එක උණු වතුර ටිකේ දෙතුන් පාරක් එබුවා. අම්මත් හොඳට බලාගෙන මේ අලුත් සිස්ටම් එක.ඊට පස්සේ නැන්දා එලියට ගිහින් ඒ කහට කෝප්පේ විසි කරලා ආව. !!

"ඇයි එක විසි කලේ??"  අම්ම ඇහුව.

"අපේ ගෙදර හැමදාම තේ ටික තම්බල විසි කරනවා මුල් කහට ටික.ඔය තේ හදන්නේ ජරා විදිහට නේ, නිකන් අත් වලින් කඩලා, කකුල් වලින් පාගල...ජරාව නේ..." නැන්දා කිව්වා.

"අපි නම් එහෙම කරන න, ඔය විෂ බීජ ඕවයේ ඉතුරු වෙන් නෑ එහෙම." අම්ම එතනින් කරුණු දැක්වීම නතර කරපු එක ගැන මම සතුටු උනා.

ඉතින් නැන්දා ඉතුරු උන තේ ටිකට උණු වතුර, සීනි එහෙම දාල කේතලේකින් එකක් තේ හැදුව.

"ඒයි, පොඩ්ඩක් මේකේ සීනි ඇතිද බලන්න..." නැන්දා මාමට අඬගැහුව.මාම ඇවිත් තේ හැන්දකින් එකක් රස බැලුව.

"සීනි නම් ඇති එත් කහට ටිකක් මදි වගේ." මාම කිව්වා .

"නෑ නෑ කහට හොඳටම ඇති..."නැන්දා ආයෙමත් රස බලල තව සීනි ටිකක් දැම්ම.

"අක්කේ මේකට සීනි ඇද්ද බලන්න..." නැන්දා අම්මට කිව්වා.අම්මත් තේ හැන්දක් අරන් තේකේ රස බැලුව.

"සීනි නම් වැඩිත් තරම්, තව පොඩ්ඩක් උණු වතුරයි කහටයි ටිකක් දාන්න" අම්ම කිව්වා.

"නෑ මේ ගැන ඇති වගේ, තව වතුර දාන්න ඕනේ නෑ..." නැන්දා තව කහට ටිකක් එකතු කරමින් කිව්වා.

"ඒයි, පොඩ්ඩක් මේකේ කහට ඇතිද බලන්නකෝ...." නැන්දා ආයේ මාමට ඇවිටිලි කළා.

"මොකටද අහන්නේ?" මාම poker face  එකක් දාල කුස්සියෙන් යන්න ගියා.

ඉතින් කොහොම හරි කට්ටිය ඒ හදාගත්ත තේකයි, කෝපියි, පානුයි අරන් ටිකකින් මල ගෙදර දිහාවට ඇදුනා......











සුබ අලුත් අවුරුද්දක් වේවා!!

ඉතින් කොහොමද? ගොඩ කාලෙකින්..මේ බ්ලොගර් සයිට් එකත් සැහෙන වෙනස් වෙලා...මේ අවුරුද්දේ අපේ ජීවිතත් සැහෙන්න වෙනස් වෙලා...නැද්ද? මගේ ගැන කියනවා නම් එහෙම මම රස්සාවෙනුත් අස් වෙලා,හිස් පර්ස් එකකුත් එක්ක දුක සේ ගෙදරට වෙලා ඉන්නවා....ඇයි ඉතින් විභාගයි, රස්සාවයි, අසනීප වලට බේත් ගන්න ඒවයි ඔක්කොම එකට කරන්න බෑ නේ....එත් දැන් තමා දුක හිතෙන්නේ, හදිස්සියකට ගන්න රුපියල් 10 ක් නෑ මගේ කියල!!


මේ ලඟදි අපේ අම්මල කතරගම ගියා, ඉතින් මගේ එකම බලාපොරොත්තුව විභාගෙන් පස්සේ අලුත් රස්සාවක් හින්ද මම අම්මට කිව්වා මම වෙනුවෙන් භාරයක් වෙනවා නම් අලුත් ජොබ් එකක සෙට් වෙන්න කියල බාර වෙන්න කියල. අම්මත් කිව්වා හා, ඔයාට රස්සාවකුත්, පොඩි අයියට පරස්තාවකුත්, ලොකු අයියගේ පවුලට අලුත් ළමයෙකුත් ලැබෙන්න කියල එහෙනම් බාර වෙන්නම් කියල... එත් ටික වෙලාවක් කල්පනා කරද්දී තමා පොඩි අවුලක් ආවේ... මම අම්මට කිව්වා, අනේ අම්මේ පටලවගන්න නම් එපා, එහෙම උනොත් මට පරස්තාවකුත්, පොඩි අයියට අලුත් රස්සාවකුත් ලොකු අයියලට බබෙකුත් ලැබෙයි කියල....

එත් අවුලක් නෑ, හිතමු හොඳටම පැටලිලා මට බබෙකුත්, පොඩි අයියට අලුත් රස්සාවකුත්, ලොකු අයියට අලුත් පරස්තාවකුත් සෙට් උනොත්!! ඉවරයි නේ !!

කොහොමෙන් කොහොම හරි කතරගම ගියාට බාර වෙන්න ලැබිල නෑ, මොන දේ වෙන්නෙත් හොඳට කියනවා නේ....

ඇත්තටම මේ ටිකේ ලිව්වේ නැත්තේ ලියන්න දෙයක් නැති නිසා....ජීවිතේ හරිම කම්මැලිකමේ ඔහේ ගලාගෙන යනවා...මේ අවුරුද්දෙවත් වෙනසක් වෙයි කියල හිතනවා, වෙනසක් උනේ නැත්නම් වෙනසක් කරන්න හරි ඕනේ...මෙහෙම බලන් ඉඳල බෑ.....

ඉතින් ඔයාල හැමෝටමත් ලැබුවා වූ නව වසර සුබ වේවා කියල පතනවා...... :) සියලු පැතුම් ඉටු වේවා!!


suiciding ......



මෙන්න මේ කතාව මට කිව්වේ මම හොඳින් දන්නා නංගි කෙනෙක්....කතාව සීරියස් උනාට අපි ඔක්කොම එදා ඒ කතාවට හුස්ම ගන්න බැරි වෙනකන් හිනා ගියා.... මේ නංගි පොඩ්ඩක් ගෙදර මිනිස්සු එක්ක පොඩි පොඩි වලි දාගන්න කෙනෙක්.ඉතින් මෙයා කිව්වේ එයා තුන් පාරක් සියදිවි නසාගන්න ගිය හැටියි, ඒ තුන් පාරම වැඩේ වැරදුන එක ගැනයි....

පලවෙනි පාර මෙය අම්මත් එක්ක තරහ වෙලා ගෙදරින් පිටත් උනා ලු. ගෙදරට අඳින ඇඳුමක් පිටින්, අතේ බස් එකට විතරක් සල්ලි තියාගෙන (වැඩිපුර සල්ලි අරන් යන එක අපරාදෙනේ කොහොමත් මැරෙන එකේ..) පිටත් වෙලා තියෙන්නේ කැළණි ගඟට පනිනවමයි කියල හිතාගෙන... (කැළණි පන්සල හරියෙන් ගඟට පනින්න මුලින් හිතුනත් එතන ගොඩක් වෙලාවට හමුදාවෙන් ඉන්නන නිසා-පැන්නොත් හමුදාවෙන් බේරාගන්නවා නේ... එතකොට වැඩක් නෑ නේ....) ඉතින් මෙයා කඩුවෙල පැත්තෙන් ගිහින් ගඟට පනින්න කියල තමා හිතල තියෙන්නේ (ඒ පැත්තේ කිඹුලොත් ඉන්නවා නේ - පැන්නොත් one shot )

ඉතින් මෙයා දෙල්ගොඩට ගිහින් කඩුවෙල පැත්තට බස් එකක් ගන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්නවලු ඉන්නවලු බස් එකක් නැති ලු... අන්තිමට එපා වෙලා හෝල්ට් එකේ නවත්තපු බස් එකක කොන්දොස්තරගෙන් අහද්දී එදා කඩුවෙල බස් ස්ට්‍රයික් එකක් ලු.... ත්‍රී වීල් එකක යන්නත් අතේ වැඩිපුර සල්ලි ගෙනිහින් නෑ නේ... ඉතින් බොහොම දුකින්, වෙන දවසක මැරෙනවා කියල හිතන් ආයේ ගෙදර ආව මෙයා කාමරේට ගිහින් එහෙමම නිදාගෙන.... එද්දී ගෙදර මල ගෙයක් වගේ වෙලා තිබ්බත් කවුරුත්ම මොකුත් කියල නෑ.....

දෙවෙනි පාර එත් අම්ම එක්ක තරහ වෙලා මෙයා ලිඳේ පනිනවා කියල හිතල.... (කැළණි ගඟට පනින වැඩේ කලින් පාරින් එපා වෙන්න ඇති නේ... )ඉතින් මෙයා ගේ පිටිපස්සේ ලිඳ ලඟට ගිහින්, පනින්න හදද්දිම තමා මතක් වෙලා තියෙන්නේ ඇඳන් ඉන්නේ කොට ගවුම් කැල්ලක් නේ කියල.... මළාම body එක ලිඳෙන් උඩට ගනිද්දී හැමෝටම කකුල් පේන්න තියෙද්දී chaater නේ....ඉතින් මෙයා ආයේ ගෙට ගිහින් කලිසමක් ඇඳන් ඇවිත්, ඒ පාර පනින්න හදද්දිම කොහෙන්දෝ මන්දා කඩා පාත් උන එයාගේ මල්ලි හතර වටේටම ඇහෙන්න කෑ ගහල "අම්මේ මෙන්න අක්ක ලිඳට පනින්න යනවෝ !! " කියල. වස ලැජ්ජාව.... ගමටම ඇහෙන්න කෑ ගැහුවා කියල ඒ නංගි හිනා උනා... ඉතින් ඒ පාරත් suicidal effort එක වතුරේ ගියා...

තුන් වෙනි පාර සියදිවි හානි කරගන්න ගිහින් තියෙන්නේ boyfriend එක්ක තරහ වෙලා..... blade තලයක් අරන් මැණික් කටුව ලඟින් ගැඹුරට කපාගෙන කපාගෙන ගිහින්, ඒ වෙලාවේ හැමෝම එකතු වෙලා මෙයාව ඉස්පිරිතාලේ අරන් ගිහින් බේරාගෙන. තාම කැළල අතේ තියනවා.... දැන් නම් මෙයා කියන්නේ කොල්ලෙක් නිසා ආයේ ඒ වගේ මෝඩ වැඩක් නම් කරන නෑ කියල.... ඉතුරු වෙන්නේ කැළැල් සහ හැමතිස්සෙම හිරිවැටෙන ඇඟිලි ටිකක් විතරයි.....

මේ කතා කියපු විදිහට අපිට එදා පන යන්න හිනා ගියත් දැන් හිතෙනවා ඒ නංගි සැහෙන්න පීඩනයෙන්, පාලුවෙන්, දුකින් ජීවිතර ගත කරපු කෙනෙක් කියල.... කරපු හැම දෙයක්ම මෝඩ වැඩ උනත්, ඒ හැම දෙකින්ම පාඩමක් ඉගෙනගෙන , දැන් ඒ කලින් උන දේවල් ගැන හිනාවෙලා කියන්න තරම් එයා ජීවිතේ හැල හැප්පීම් වලට මුහුණ දීල තියනවා... එත් එයාගේ ජීවිතේ තාම අස්ථිරයි.... සමහරවිට එයා ආයේ සියදිවි නසාගන්න ගියොත්-කලින් පාරවල් වල වගේ ඒ කටයුත්තට අහම්බෙන් බාධා නොවෙන්න පුළුවන්.....

මම මේ දේ ගැන කතා කරන පලවෙනි දවස අද නෙමේ.. මගේ පවුල ඉතාම සාමකාමී, හැම දෙනාම සමීපයෙන් ආශ්‍රය කරන පවුලක් උනත්, මම ඒ නංගිට වඩා වැඩි සැරයක් සියදිවි නසාගන්න plan කරලා තියනවා...... :) ඒ හැම පාරම- පෙළක් අවස්ථා වල ප්‍රශ්නයක් නිසාම නෙමේ, මේ ජීවිතේ තේරුමක් නෑ කියල හිතිලා...., හැබැයි ඒ හැම පාරම මට තේරුනා එක ලේසි දෙයක් නෙමේ කියල..... මම මේ ගැන අපේ අයිය එක්කයි, මගේ හොඳම යාළුවා එක්කයි කතා කරලා තියනවා... හැමෝම එකඟ වෙනවා ජීවිතේ යම් කිසි කාලෙක හැමෝටම සියදිවි නසාගන්න එක පාරක්වත් හිතෙනවා, එක පාරක් වත් පුංචි try එකක් හරි දෙනවා කියල..... අපි අපේ ජීවිතේ අපේ යාළුවන් එක්ක බෙදාගන්නවා නම්, එයාලගේ කතා වලට සවන් දෙනවා නම් මේ පීඩනය අඩු කරගන්න එක උදව් වේවි....


මම දැන් නෑ ඇයි අද මට මේක ලියන්න හිතුනේ කියල.... මම ඊයේ පුස්තකාලයෙන් පොතක් ගත්ත, De - stress කියල... එකේ සැහෙන්න හොඳ පිළියම් තියනවා පීඩනය අඩු කරගන්න එක ගැන....එකේ තියන, මානසික ආතතිය -පීඩනය අඩු කරන ක්‍රම දෙක තුනකින් මම මේ ලිපිය ඉවර කරන්නම්....

1- ව්‍යායාම කරන්න-දුවන්න.... දාඩිය දාල ඇඟේ රුධිර ගමනය වැඩි වෙලා ඇඟම රත් වෙනකන්... එකෙන් මුලින් සිරුරත්, ඊට පස්සේ මනසත් සැහැල්ලු වෙනවා...

2- හවස 5 ට පස්සේ තේ , කෝපි බොන්න එපා.... නින්ද අඩු වෙනවා...

3- කොට්ටෙට, තමන්ගේ මෙට්ටේට, නාන උණු වතුර බේසමට ලැවන්ඩර් තෙල් බින්දු දෙක තුනක් දාන්න....නිදි පෙති වල වගේම බලයක් ඒවායේ තියනවා....

4- වතුරේ පාවෙන්න පුරුදු වෙන්න- පැයක් වතුරේ නිදහසේ පාවෙන එක පැය 4 ක නින්දට සමානයි....

5- ඇස් දෙක වහන් හිතන්න තමන් ඉන්නේ වෙරළක කියල.... රැල්ල ගහන සද්දේ, ඉරේ උණුසුම... මනසින් මවාගන්න.... වෙරලක් නැත්නම් ඔබ කැමතිම තැනක් ගැන හිතන්න..... වැස්ස වෙලාවක් ගැන උනත් කමක් නෑ....

6- හැමතිස්සෙම සතුටින් ඉන්න, ක්‍රියාකාරී යාලුවෙක් හොයාගන්න.... (ගොඩක් කියවන) සතියකට සැරයක් එයාට call කරලා එයා කියන දේවල් අහගෙන ඉන්න...

7-සින්දු අහන්න- කන පැලෙන සින්දු නෙමේ.... සෞම්‍ය සින්දු....

8-facebook එකෙන් logout වෙලා පොතක් කියවන්න....

9-ගෙදර මාළු ටැංකියක් හදන්න...

10-අන්තිම දේ පොතේ තිබ්බ එකක් නෙමේ... මම කලිනුත් කියල තියන-මම ජීවිතේ එපා උනාම කරන දේ..... තමන්ගේ කාමරේ අස් කරන්න එකේ දොර වහගෙන....ඔක්කොම කුණු ටික අස් කරලා, විසි කරලා බාත් රූම් එකට ගිහින් හොඳට නාගන්න උණුවතුරෙන්... ඊට පස්සේ ඉඟුරු දාපු තේකක් හදන බොන්න..... ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි... :)

ඉතින් ඉතින්.... මම හිතනවා ඔයාල ඔක්කොම දැන් නත්තලට සූදානම් වෙනවා කියල.... නත්තල සතුටින් ගත කරන්න.....අපි මේ පාර නත්තලට නුවරඑළියේයි හපුතලෙයි යනවා :) මට ආයෙත් කාලෙකින් ලියන්න වෙන එකක් නෑ.... ඔයාල හැමෝටම සුබ නත්තලක්.... ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න..... :):):)

මහේෂ් වෙනුවෙන්....



අපේ සමීපම මිතුරෙක් වුනු මහේෂ් හසන්ත ද සිල්වා සොයුරා අපෙන් වෙන් වෙලා ගිහින් දැන් මාසෙකටත් ලඟයි. ඔහු වෙනුවෙන් ඔහුගේ සියලුම මිතුරන් එකතු වෙලා මේ මාසේ 29 වෙනිදා ළමා නිවාසයකට දානයක්, සහ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ධර්ම දේශනාවක් සිදුකිරීමටයි සූදානම. ඔහු වෙනුවෙන්, ඔහු පිලිබඳ මතකය සදාකාලික කිරීමට ඔහුගේ මිතුරු මිතුරියන් විසින් සිදුකරන සියලු දෑ අලුතින් බ්ලොග් අඩවියක ලියවේවි. මේ ලිපිය කියවන්න . ඔබටත් කිසියම් ආකාරයකින්, සහභාගීත්වය හෝ ආධාරය ලබාදීමට කැමති නම් ධනුෂ සහන් සොයුරාට කියන්න. මහේෂ් වෙනුවෙන් පමණක් නොවේ, ළමා නිවාසයක පොඩි ළමයින් එක්ක දවසක් ගත කරන්න, දානයක් දීල, තෑගී දීල ඔවුන්ව සතුටු කරන්න, නැත්නම් ඒ වගේ පුණ්‍ය ක්‍රියාවකට එකතු වෙන්න කැමති යටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ........

ජීවිතය.............කෙටියි .......................


දිග නිවාඩුවකින් පස්සේ මම මගේ බ්ලොග් එක පටන් ගන්න හිටියේ විනෝදජනක කතාවකින්...එත් අද මට දැනුම් දෙන්න වෙලා තියෙන්නේ ගොඩක් දුක්බර දෙයක්...."ඇසිපියක මහිම" ( Blog Link ) බ්ලොග් එක ලියන මහේෂ් හසාන්ත ද සිල්වා සොයුරා අද හදිසියේම අපෙන් සමුගෙන ගියා....අද උදේ මාකොළ පාරේ සිදුවුණ රිය අනතුරකින් බරපතල තුවාල ලබපු මහේෂ් එසැනින් මේ ලෝකයෙන් අපෙන් සමුඅරගෙන ගියේ කවුරුත්ම නොහිතපු විදිහට......

මම මහේෂ්ව දන්නේ පොඩි කාලේ ඉඳන්....මම දැනගෙන හිටපු අයගෙන් හොඳම ගතිගුණ තියෙන කෙනෙක්........මට තාම මේ සිදුවීම හිතාගන්න බෑ................මහේෂ් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් කටයුතු කළා, 2007 උසස් පෙළ කරපු කෙනෙක්.......පන්සලේ-දහම් පාසලෙත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා උනේ මහේෂ්...කරපු හැම දෙයකින්ම පලවෙනි තම ගත්ත මහේෂ් තමන් කරපු මොකක් හරි කරුමයකට වන්දි ගෙවන්න වගේ, ඕස්ට්‍රේලියාවේ තමන්ගේ අධ්‍යාපනය අතර මග නවත්තල දාල ලංකාවට ආවේ ඇත්තටම මොකක් හරි ලොකු පවක් කරලා ඇති...............

එයාගේ බ්ලොග් එක කියවන අය මගේ බ්ලොග් 1 ත් follow කරන නිසා මම මේ පොස්ට් එක දැම්මේ, මහේෂ්ගේ මල ගෙදර එනවා නම් ඔයාලට එන්න පුළුවන් 234 දෙල්ගොඩ-පිටකොටුව බස් පාරේ, ඒ කියන්නේ කිරිබත්ගොඩ ඉඳන් මාකොළ හරහා දෙල්ගොඩට එන පාරේ මාකොළ මාවරමණ්ඩිය පහු කරන් ඇවිත්, හෙට්ටියගමට එනකන් ඇවිත්. හෙට්ටියගම හන්දියේ ඉඳන් පයින් යන දුර................අවසන් කටයුතු බදාදා.....28/09/11

මේක විතරක් නෙමේ, තව දුක්බර මරණයක් සිදු උනා සිකුරාදා...ඒ තමා අපේ CIMA පන්තියේ එකට ඉගෙන ගත්ත, අපේ Mr.Cute සර්ගේ හොඳම යාළුවා ප්‍රසාත්....එයා වැඩ කලේ සිරස ටීවී-මහරාජා group එකේ...ඒ මරණින් කම්පාවෙලා උන්න මට මහේෂ්ගේ මරණය දරාගන්න බැහැ...........වෙලාවකට මේ ජීවිතය මොකක්ද කියල හිතෙනවා...............

ප්‍රසාත්, අපි හරියට දැන හඳුනාගෙන ටික කාලයයි, හැමදාම සැහැල්ලුවෙන් ඉන්න ඔයා වගේ හොඳ පුද්ගලයෙක් අපිට නැති උනා...........
මහේෂ්, අපි පුංචි කාලේ ඉඳන් යහළුවෝ උනාට, අපි ඇත්තටම දෙන්නව හරියටම අඳුනගත්තෙ ලඟදි........ඒකට මුල් උනේ මේ බ්ලොග් එක.....මට මතකයි මගේ "ප්‍රථම එක පාර්ශ්වික ප්‍රේමය" පොස්ට් එක දැකල ඒ සිද්ධිය ගැන සැහෙන්න දිග චැට් එකක් ගියා.... :) ඔයා හැමදාම, ඔයාගේ හැම සුභපැතුම් පණිවිඩයකම (අවුරුද්දට, නත්තලට, උපන්දිනයට, වෙසක් දවසට- ඔයා විතරයි නොවරදවා එහෙම කෙටි පණිවිඩයක් හරි එව්වේ ) අගින් දානවා වගේ හැමදාමත් ~mahesh4ever~ we're going to miss you..................

ඔයාල දෙන්න යන්න ගියේ අපේ ජීවිත වලට පුරවන්න බැරි අඩුවක් තියල........... මගේ ප්‍රාර්ථනාව මේ වෙද්දී ඔයාල හොඳ තැනක ඉපදිලා ඉන්න කියල..............
Dear Mahesh, Dear Prasath...........
Rest in Peace....
Our love is always with you...........