අවුරුදු තුනකින්



වයස විසි එකේදී පටන් ගත්ත මේ බ්ලොග් එක දැන් අවුරුදු හතක් පරණයි , ජීවිත සෑහෙන්න වෙනස් වෙලා,හිතන විදිහ වෙනස් වෙලා,ලංකාව,මිනිස්සු වෙනස් වෙලා..
මගේ ජීවිතය ගැන කියනව නම්, ඉතාම ප්‍රීතිජනක කාලයක් පසු කරමින් ඉන්නේ මම නම්, සතුටින් උනත් ,නිදහසේ හුස්මක් ගන්න වත් වෙලාවක් නම් නෑ.

මම විවාහ වෙලා අදට මාස 2යි ,ජීවිතේට බඳින්නේ නම් නෑ කිව්වත් ඔන්න මම දැන් ඉන්නවා ගොරෝ ගොරෝ නිදි කොල්ලෙක්ගේ එහා පැත්තට වෙලා type කර කර.කොල්ලා දැන් නිදි ඇයි කියනවා නම් එයා හැමදාම night shift කරන කෙනෙක්. එයා උදේ 5.30ට ගෙදර එනවා,මම උදේ 6ට ගෙදරින් යනවා. දවසට පැය බාගයක් විතරක් හමුවෙන හින්දා අපේ ජීවිතේ ප්‍රශ්ණ ඇත්තෙම නෑ.මේ වගේ නිවාඩු දවස් වල,නැත්නම් සති අන්තේ තමයි අපි දෙන්නාට නිදහසක් ලැබෙන්නේ.
ඉතින් අපි සෙනසුරාදා movie marathon එකක් යනවා. ඉරිදා හවසට යනවා කූල් බීර වීදුරුවක් බීලා ,සඳුදට වැඩට යන්න හිත හදාගන්න.

වෙල් වලින්,ගස් වලින් වට වෙච්චි ගමේ ගෙදර ඉඳන් නගරේ ගෙදරට පදිංචියට ආව මට මෙහෙ හරි රස්නෙයි. වැඩට යන්න එන්න පැය හතරක් විතර යනවා.හැම සැප පහසුකමක් ම අත ළඟ උනත් ,ආයේ ගෙදර යන දවසට පුදුම සතුටක් එන්නේ.

මම දැන් වැඩ කරන්නේ රජයේ බැංකුවක.විධායක නිළධාරිනියක් විදිහට.හීනෙන්වත් හිතුවේ නෑ හැමදාම සාරි ඇඳන් වැඩට යන job එකක් කරයි කියල.බැංකුවේ බාගයක් මට මට මැඩම්, මිස් කියද්දී ,අනිත් බාගෙට මම සර්,මැඩම් ,මිස් කියනවා.general manager ටත් මුල් නමින් කථා කරන ඇමෙරිකානු සංස්කෘතිය තිබ්බ office එකක ඉඳන් ආව මට මුලදී ටිකක් අමාරු උණා ,අවුරුදු 3කට ලං වෙන්න මේකේ කට්ට කාපු මට දැන් ඕව පුරුදුයි.

මගේ මුල් පත්වීම ලැබුනේ සබරගමු පළාතට.සුන්දර සබරගමුවේ පඹහින්න,වැලිගෙපොල,වේළිඔය,බලංගොඩ බැංකු කීපයක නිළධාරිණියක් විදිහටත්,කළමනාකරු නැති දවසට වැඩ බලන කළමනාකාරිණිය විදිහටත් වැඩ කළා.වගකීම් වැඩි උනත්,බැංකුවේ අනිත් සේවකයින්ට අයියා,අක්කා,නංගි,මල්ලි, කියාගෙන,පවුලක් විදිහට හිටපු කාලේ තමා ජීවිතේ best අවුරුදු දෙක.

ඉතින් අපේ පවුල ගැන කියනවා නම් ,ලොකු අයියට දැන් ඉන් ඉන්නවා හුරතල් දුවෙක්,පොඩි අයියත් බැන්ද නේ ...එයාගේ නෝනාටත් දැන් බබෙක් ලැබෙන්න ඉන්නවා.ඊළඟට මම තමයි කියල හැමෝම කියන්නේ.ඒත් ඊට කළින් ජීවිතේ තව විඳින්න ඕනේ. එන මාසේ විතර වාහනයක් ගන්නවා, කොච්චර හොඳ රැකියාවක් කියල සමාජය කිව්වත්,උදේ 7.30 ඉඳන් රෑ 6.30 වෙනකන් බර අදින මේ job එක මට හරියන්නේ නෑ.අපි දැන් ප්ලෑන් කරනවා රට යන්න.එන අවුරුද්දේ ඒකත් හරියයි.

ඉතින්, මගෙ ලියන style එක කම්මැළි වෙලාද මන්ද...ඉතින් අවුරුදු විසි අටක් වෙච්චි අපි, ජීවිතේ උන වෙනස්කම් එක්ක ,මෝරලා,boring වෙලා ගිහින්. ආයේ ලියන්න හිතුන,මොකද ඉස්සරහට තව රසබර සිද්ධි ටිකක් තියනවා කියන්න.මම කිව්වේ නෑ නේ මගේ මනුස්සයා හම්බවෙච්චි විදිහ ! ඉතින් ඉතින් ආයේ හමුවෙනකන්, ප්‍රීති වෙසක්! දැන් යන්න දන්සල් කන්න

2 comments:

bingo said...

reading this took me back to 2011!!!!! :D

poppy said...

@bingo you worked there right?

Post a Comment