මම මේ ලඟදි (ලඟදි කිව්වට ළඟදීම නෙමේ, මම මේක ලියන්න කියල ගොඩ කාලයක් තිස්සේ හිතන් උන්නේ ..)මගේ කාමරේ අස්කරද්දී කාමරේ බිම තිබිල පුංචි කොළ කෑල්ලක් හම්බුනා.එකේ තිබ්බේ අමුතු විදිහේ නම් ටිකකුයි, ඊට ඉස්සරහින් ගණන් ටිකකුයි.පහලට තිබ්බ නම් පේලිය හරිම අමුතුයි.එක දැක්ක ගමන් මට මතක් උනේ හිටපු ගමන් කඩේ බඩු ඔතල දෙද්දී හම්බෙන පරණ රේස්කොළ.

නම් ටික පහලට තිබ්බේ pick me, rapido, lady jane, red champion වගේ නම් ටිකක්. ඊට ඉස්සරහින් රුපියල් 450, 250, 150 වගේ ගණං ටිකක් ලියල තිබ්බ.මේක මොකක්ද කියල නම් හිතාගන්න බැරි උනා.බැරි වෙලාවත් තාත්ත රේස් ඔට්ටු අල්ලනවාවත් ද? මම කොළෙත් අරගෙන අම්ම ලඟට ගියා. "අම්මේ මේක මොකක්ද කියල පොඩ්ඩක් බලන්නකෝ..." මම අම්මට කොලේ දුන්න. "ඕකේ රෙඩ් චැම්පියන්, පික් මී, ලේඩි ජේන් වගේ නම් සෙට් එකකුයි ගණන් වගේකුයි තියෙන්නේ, තාත්ත බැරිවෙලාවත් ඔට්ටු දාන්න පටන් අරන්ද දන් නෑ ....."

"කෝ මගේ කණ්නාඩිය ගෙන්න...." අම්ම කොලේ අතට අරන් හොරෙන් කිව්වා. මම කණ්නාඩිය ගෙනත් දුන්නට පස්සේ කොලේ කියෙව්ව අම්ම දෙකට නැමි නැමි හිනා වෙන්න ගත්ත.

"මම දවස් ගානක් තිස්සේ හෙව්වා රංජනී ගෙනත් දුන්න ඇන්තූරියම් වල ගණං ලිව්ව කොලේ කෝ කියල!මේක කොහෙද තිබ්බේ?"
"එතකොට ඔය ඔක්කොම ඇන්තූරියම් වල නම් ද?මොනවද අප්පා ඕවට අස්සයන්ගේ නම් දාන්නේ ඇයි? "

අම්ම තාත්තට කතාව කියන්න ඉක්මනට ගියා. අන්තිමේදී දෙන්නම මටයි සවුත්තුව දාන්න ගත්තේ..තාත්තව සූදු කාරයෙක්ගේ ගානට දැම්ම කියල! හී හී.

අදහස් විමසීම

මේ ලඟදි අපේ ගෙවල් ලඟ මල ගෙදරකට තේ, පාන් එහෙම අරන් යන්න අපේ අම්මලයි ,  මාමලයි ලෑස්ති උනා. ඉතින් රෑ 10 ට විතර කට්ටියම මෙහෙට ආව.පාන් ටික ලෑස්ති කරලා තිබ්බ නිසා අම්මයි නැන්දයි එකතු වෙලා තේ, කෝපි හදන්න පටන් ගත්ත.නැන්දා තේ ගොට්ටට අලුතෙන් තේ කොළ දාල, උණු වතුර කෝප්පයක් විතර දාල තද කහට එනකන් එක උණු වතුර ටිකේ දෙතුන් පාරක් එබුවා. අම්මත් හොඳට බලාගෙන මේ අලුත් සිස්ටම් එක.ඊට පස්සේ නැන්දා එලියට ගිහින් ඒ කහට කෝප්පේ විසි කරලා ආව. !!

"ඇයි එක විසි කලේ??"  අම්ම ඇහුව.

"අපේ ගෙදර හැමදාම තේ ටික තම්බල විසි කරනවා මුල් කහට ටික.ඔය තේ හදන්නේ ජරා විදිහට නේ, නිකන් අත් වලින් කඩලා, කකුල් වලින් පාගල...ජරාව නේ..." නැන්දා කිව්වා.

"අපි නම් එහෙම කරන න, ඔය විෂ බීජ ඕවයේ ඉතුරු වෙන් නෑ එහෙම." අම්ම එතනින් කරුණු දැක්වීම නතර කරපු එක ගැන මම සතුටු උනා.

ඉතින් නැන්දා ඉතුරු උන තේ ටිකට උණු වතුර, සීනි එහෙම දාල කේතලේකින් එකක් තේ හැදුව.

"ඒයි, පොඩ්ඩක් මේකේ සීනි ඇතිද බලන්න..." නැන්දා මාමට අඬගැහුව.මාම ඇවිත් තේ හැන්දකින් එකක් රස බැලුව.

"සීනි නම් ඇති එත් කහට ටිකක් මදි වගේ." මාම කිව්වා .

"නෑ නෑ කහට හොඳටම ඇති..."නැන්දා ආයෙමත් රස බලල තව සීනි ටිකක් දැම්ම.

"අක්කේ මේකට සීනි ඇද්ද බලන්න..." නැන්දා අම්මට කිව්වා.අම්මත් තේ හැන්දක් අරන් තේකේ රස බැලුව.

"සීනි නම් වැඩිත් තරම්, තව පොඩ්ඩක් උණු වතුරයි කහටයි ටිකක් දාන්න" අම්ම කිව්වා.

"නෑ මේ ගැන ඇති වගේ, තව වතුර දාන්න ඕනේ නෑ..." නැන්දා තව කහට ටිකක් එකතු කරමින් කිව්වා.

"ඒයි, පොඩ්ඩක් මේකේ කහට ඇතිද බලන්නකෝ...." නැන්දා ආයේ මාමට ඇවිටිලි කළා.

"මොකටද අහන්නේ?" මාම poker face  එකක් දාල කුස්සියෙන් යන්න ගියා.

ඉතින් කොහොම හරි කට්ටිය ඒ හදාගත්ත තේකයි, කෝපියි, පානුයි අරන් ටිකකින් මල ගෙදර දිහාවට ඇදුනා......











සුබ අලුත් අවුරුද්දක් වේවා!!

ඉතින් කොහොමද? ගොඩ කාලෙකින්..මේ බ්ලොගර් සයිට් එකත් සැහෙන වෙනස් වෙලා...මේ අවුරුද්දේ අපේ ජීවිතත් සැහෙන්න වෙනස් වෙලා...නැද්ද? මගේ ගැන කියනවා නම් එහෙම මම රස්සාවෙනුත් අස් වෙලා,හිස් පර්ස් එකකුත් එක්ක දුක සේ ගෙදරට වෙලා ඉන්නවා....ඇයි ඉතින් විභාගයි, රස්සාවයි, අසනීප වලට බේත් ගන්න ඒවයි ඔක්කොම එකට කරන්න බෑ නේ....එත් දැන් තමා දුක හිතෙන්නේ, හදිස්සියකට ගන්න රුපියල් 10 ක් නෑ මගේ කියල!!


මේ ලඟදි අපේ අම්මල කතරගම ගියා, ඉතින් මගේ එකම බලාපොරොත්තුව විභාගෙන් පස්සේ අලුත් රස්සාවක් හින්ද මම අම්මට කිව්වා මම වෙනුවෙන් භාරයක් වෙනවා නම් අලුත් ජොබ් එකක සෙට් වෙන්න කියල බාර වෙන්න කියල. අම්මත් කිව්වා හා, ඔයාට රස්සාවකුත්, පොඩි අයියට පරස්තාවකුත්, ලොකු අයියගේ පවුලට අලුත් ළමයෙකුත් ලැබෙන්න කියල එහෙනම් බාර වෙන්නම් කියල... එත් ටික වෙලාවක් කල්පනා කරද්දී තමා පොඩි අවුලක් ආවේ... මම අම්මට කිව්වා, අනේ අම්මේ පටලවගන්න නම් එපා, එහෙම උනොත් මට පරස්තාවකුත්, පොඩි අයියට අලුත් රස්සාවකුත් ලොකු අයියලට බබෙකුත් ලැබෙයි කියල....

එත් අවුලක් නෑ, හිතමු හොඳටම පැටලිලා මට බබෙකුත්, පොඩි අයියට අලුත් රස්සාවකුත්, ලොකු අයියට අලුත් පරස්තාවකුත් සෙට් උනොත්!! ඉවරයි නේ !!

කොහොමෙන් කොහොම හරි කතරගම ගියාට බාර වෙන්න ලැබිල නෑ, මොන දේ වෙන්නෙත් හොඳට කියනවා නේ....

ඇත්තටම මේ ටිකේ ලිව්වේ නැත්තේ ලියන්න දෙයක් නැති නිසා....ජීවිතේ හරිම කම්මැලිකමේ ඔහේ ගලාගෙන යනවා...මේ අවුරුද්දෙවත් වෙනසක් වෙයි කියල හිතනවා, වෙනසක් උනේ නැත්නම් වෙනසක් කරන්න හරි ඕනේ...මෙහෙම බලන් ඉඳල බෑ.....

ඉතින් ඔයාල හැමෝටමත් ලැබුවා වූ නව වසර සුබ වේවා කියල පතනවා...... :) සියලු පැතුම් ඉටු වේවා!!